පොත් හොයාගෙන...BMICH වෙත...




කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලනෙ කියන්නේ.. ඉතිං මේ පාරත් 21 වෙනි වරට පැවැත්වුනු කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ට යන්න මටත් අවස්ථාව ලැබුනා. සැප්තැම්බර් 20-29 කියන දිනයන්වල BMICH හිදී පැවැත්වුනු පොත් ප්‍රදර්ශනය ට විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවුනත් එවැන්නක් ගණනකට නොගෙනම විශාල ජනකායක් මෙවරත් අතුරු සිදුරු නොමැතිව සිටිනු දක්නට ලැබුනා.

මා මෙවර පොත් ප්‍රදර්ශනය ට පැමිනෙන්නේ 5 වෙනි වරට‍යි. වෙනදාට වඩා වෙනස්කම් කිහිපයක් මා දුටුවේ ආරම්භයේ සිටමයි. වෙනදාට වඩා ආරක්ශාවේ යම් වැඩිවීමක් දක්නට ලැබුනා. වැඩි වට්ටම් සහිතව පොත් පත් රාශියක් මෙවර දැකගත හැකි වූ අතර 20% සිට 50% ලෙස වට්ටම් ප්‍රදර්ශනය කරනු ලැබූ පොත් ප්‍රකාශක කුටි රාශියක් දැකගත හැකි වුනා. පාඨකයින් වැඩි පිරිසක් මෙන්ම මා ද පෙර අවස්තා වන් වලදී මෙන්ම මෙවරද පලමුව ගමන් කලේ ස්වර්ණ පුස්තක සම්මානය දිනූ නවකතාව සොයායි. ඒ කපිල කුමාර කාලින්ගයන්ගේ අදිසි නදිය කෘතියයි. 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ මකරානන්දය කෘතිය ද වැඩි අවධානයට ලක් වූ කෘතියක් උනා.

 යෞවන පාඨකයින් කවදත් පරිවර්තන කෘති සදහා දක්වන දැඩි කැමත්ත මෙවරත් ඒ ආකාරයෙන් ම ඒ ඒ ප්‍රකාශක කුටිවලදී දක්නට ලැබුනා. එසේම අධ්‍යාපනික පොත්. විවිධ අත්‍යවශ්‍ය පාසල් උපකරණ වටටම් සහිතව අඩු මිලට ගතහැකිව තිබූ නිසා පාසල් ලමුන්ගේ බෑග පිරී තිබුනේ ඒවායින් බව නම් සැකයකින් තොරව කිව හැකියි.

ජනතාව වෙනදා මෙන් මෙවරත් ආහාර සදහා තම කාලය වෙන් කරනු දක්නට ලැබුනා. වෙනදා මෙන්ම ඒ ඒ නියමිත ස්ථානවල වෙළදාම් කටයුතු සිදු කරනු දක්නට ලැබුනා. ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් ජනතාව නැවතත් සුපුරුදු ලෙස ඇදුනේ පොත් ප්‍රකාශක කුටි වෙතයි.

සමස්තයක් ලෙස ජනයා මෙසේ පොත් සදහා දක්වන ඇල්ම ඉතා අනර්ඝ යැයි කිව යුතුමය. ඒ මන්දයත් පොතක මහිම මෙසේ යැයි කියා නිම කල නොහැකි නිසාවෙනි. කුඩා කල පටන්ම ඇතුවුන පොත් පිළිබඳ මගේ ආදරය හා කුතුහලය තව තවත් වැඩි කිරීමට හේතු වූයේ මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බව ඉදුරාම පැවසිය හැකියි. සෑම තත්පරයටම වෙනස් වන මේ ලෝකයේ අප දිනෙන් දින තාක්ෂණික ලෝකය සමග ඇති කර ගන්නෙ ලොකු බැදීමකි. ඒ අතරතුර තාමත් නොනැසී ඉදිරියට යන පොත් හි අගය කියා නිම කල නොහැකිය. පොත් කියවන්නට මාස වෙන් කරන්නේ ඇයිදැයි සමහරුන් විමසුවද මෙවන් ජාත්‍යන්තර ප්‍රදර්ශන වලට  පැමිණ හෝ තම සැක සංකා දුරු කර ගත යුතු යැයි මට සිතේ. එසේ නොමැති වූවානම් ජනතාව තුල අප මේ දකින්නා වූ උද්‍යෝගය කෙසේ නම් අප අත්විදින්නද..?
එම නිසා කියවන්න.. කියවීම මිනිසා සම්පූර්ණ කරන්නේ කෙසේදැයි ඔබටම අත්විද බැලිය හැකිය...

සටහන - කාවින්දි වීරසිංහ
           MAPT/19/B1/04

No comments:

Post a Comment