C.W.W කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් සම අධ්‍යාපන අයිතීන් දිනා දීමේ මහත් වූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණු නිදහස් අධ්‍යාපනයේ මහගු ප්‍රතිඵලයක් ලෙස පළමු වසරේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා ලැබෙන්නා වූ නිදහස් අධ්‍යාපනය ලංකාවේ අධ්‍යාපන මගෙහි සුවිශේෂී ම වූ හැරවුම් ලක්ෂය ලෙස අවිවාදයෙන් දැක්විය හැකිය.
නිදහස් අධ්‍යාපනය යනු "දරුවෙකුගේ නිසග දක්ශතා හා කුසලතා මත පදනම්ව පහළ ආර්ථික හා සමාජ මට්ටමක සිටින දරුවෙකු හට ඉහල ආර්ථික හා සමාජ මට්ටමකට ලගා වීමට අධ්‍යාපනය මගින් සම්පූර්ණ අවස්ථාව ලබා දීමයි" ඒ අනුව ගොඩනගන ලද විශ්ව විද්‍යාලයයන් හි තවමත් යොවුන් වියේ පසුවන විශ්ව විද්‍යාලයකි ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය. 2019 වසරේදී මෙම සරසවි පින්බිම තම දහ වන සංවත්සරය සමරනු ලබන්නේ මහත් අභිමානයෙනි.
1985 වර්ෂයේ නොවැම්බර් මස 11 වනදා එවකට අධ්‍යාපන අමාත්‍ය වූ ගරු J.R.ජයවර්ධන මැතිතුමන්ගේ අතින් ජාතික තාක්ෂණික ගුරු පුහුණු විද්‍යාලයේ ආරම්භය සනිටුහන් විය. ඉන්පසුව බණ්ඩාරනායක ජන්ම ශතක සංවත්සරය යෙදුනු 1999 ජනවාරි 8 වන දින එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය ගොඩ නැගිනි. එමගින් පෙනී යන්නේ ආසන්න වශයෙන් වසර 33 ක තාක්ෂණික ඉතිහාසයකට සරසවි භූමිය උරුමකම් කියන බවයි.
තාක්ෂණය දියුණු වන ලෝකයේ තාක්ෂණයෙන් ලෝකය ජය ගැනීමට තාක්ෂණික විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය ඉතා වැදගත් විය. ඒ අනුව 2005 වර්ෂයේ දී මුල් ගල තැබීමෙන් පසු 2009 මාර්තු මස 31 වන දින එවකට ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ආරම්භය සනිටුහන් විණි.
පළමු උපකුලපතිතුමන් ලෙස ආචාර්ය කපිල පී.ඒ.ගුණසේකර මහතා කටයුතු කල අතර වර්තමාන උපකුලපතිතුමන් ලෙස මහාචාර්ය G.L.D.වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ලබයි. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය අන් රාජ්‍ය විශ්වවිද්‍යාලයයන් ට වඩා සුවිශේෂී ය. ජාතික නිපුණතා මට්ටම් 5 හෝ 6 සම්පූර්ණ කරන ලද පුද්ගලයෙකුට ද තම උපාධි සිහිනය සපුරා ගැනීම සදහා විවෘත ව පවතින එකම රාජ්‍ය තාක්ෂණික විශ්ව විද්‍යාලය ලෙස ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ස්ථාපිත වී ඇත.
ආරම්භයේදී අඩු ශිෂ්‍ය ප්‍රජාවකට ඇතුලත් වීමේ වරම් සලසා දුන්නද වර්තමානයේ සමස්ථ බදවා ගැනීමේ සංඛ්‍යාව 1000 කට හෝ ඊට වඩා වැඩි ය.එසේම 2017 වර්ෂයේ සිට අ.පො.ස උසස් පෙල Z අගය මත පදනම් ව උසස් පෙල සිසුන්ද විශ්වවිද්‍යාලය ට බදවා ගනී.පීඨ 2 කින් සමන්විත වන අතර දෙපාර්තමේන්තු 12 කුත්,පාඨමාලා 15 කිනුත්
සමන්විතය.
ගෙවී ගිය කාල වකවානුව තුල සරසවි භූමිය අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල හා තරග කර ලබාගත් ජයග්‍රහණ ද වර්තමාන සරසවි ඉදිරි ගමනට මහා පිටුවහලක් වන බවට සැක නැත. එසේම අන් විශ්ව විද්‍යාල මෙන් තම ක්‍රීඩා කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථා ද තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මේ වන විට පෙරට වඩා වර්ධනය වී ඇත. වාර්ෂිකව පවත්වන වොලිබෝල් තරගාවලිය හා රගර් තරගාවලිය විශ්වවිද්‍යාලයේ වැඩි අවදානයකට බදුන්වන තරගාවලීන් ලෙස දැක්විය හැක.
ආරම්භ කර ගත වූයේ කෙටිකාලයක් වුවද යා යුතු මග ඉතා දීර්ඝ බව කිව යුතුය. සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට එහාගිය විවිධත්වයෙන් යුත් අධ්‍යාපන රටාවක් හරහා විද්‍යාර්ථයින් හට දැනුම ලබා දෙන මෙම සරසවිය තව චිරාත් කාලයක් දියුණුවෙන් දියුණුවට යමින් පවතින බවට කිසිදු සැකයක් නැත.
සටහන - කාවින්දි වීරසිංහ
MAPT/19/B1/04

No comments:
Post a Comment