ඇතුළාන්තය

පොත් වලටම කියූ මාසය ආරම්භයත් සමග වැඩිමනක් ජනතාවගේ මතකයට එනුයේ BMICH එකේ පොත් ප්‍රදර්ශනයයි.ඊටත් වඩා තවත් පිරිසක් අවුරුද්දේ මුල සිටම මෙය සඳහා ඇඟිලි ගනියි. සත්තකින්ම මෙය ජනතාවගේ එක් අවශ්‍යතාවයක් බවටම පත්වී තිබීම අරුමයක් නොවන්නේ වටිනා කියන ඕනෑම පොතක් මෙහින් සොයාගත හැකිවීමයි.

           මෙම පොත් ප්‍රදර්ශනයේ මූලාරම්භය 1998 තෙක් දිවයන්නාවූ අතීතයකි.ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ආරම්භ කොට පවත්වාගෙන යනු ලබන මෙම මහා කාර්යය 2019 දී එනම් මෙම වසරේදී පවත්වනු ලැබුවේ 21 වන වතාවටය.මෙයට පාසල් ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට පැවිදි පංතියට සහ ආරක්ෂක අංශයන්ට අය කිරීමක් නොමැතිවම ඇතුල්විය හැකි අතර අනෙකුත් අයගෙන් රුපියල් විස්සක් වැනි සුලු මුදලක් අය කරනු ලබයි. එයින් එකතු වන්නාවූ මුදල් ඉගෙනීමට එතරම් වත්කමක් නොමැති අසරණ දරුවන් වෙනුවෙන් සිසු දිරිය ශිෂ්‍යයත්ව අරමුදලේ තැන්පත් කරනු ලබයි. සෑම පොත් ප්‍රකාශකයකුටම වෙන් කරන ලද කුටියක් ලබා ගත හැක.

                                         මෙයින් විශාල සේවයක් සිදුවෙයි. නමුත් වර්තමානයේදී මෙය ජනතාවට විශේෂයෙන්ම තරුණ පංතියට රැල්ලක් එසේත් නැත්නම් නව යොමුවීමක් වී ඇත. මෙයින්  දැනුමක් හා රසාස්වාදයක් ලබාගන්නවාට වඩා වින්දනයක් ලබාගැනීමට ඔවුන් යොමු වී ඇත. 2019/09/27 දින මව්බිම ඇම්.ඩී. වීරරත්නගේ  කාටූනයක මෙසේ සඳහන් විය.
"ඔයා පොත් ගත්තද?"
"නූඩ්ල්ස් කන්න ආපු ගමන් පොතකුත් ගත්තා"

මෙම ඉතා පුංචි දෙබසින් විද්‍යාමාන වන්නා වූ කාරණා බොහොමයකි.පොත් ප්‍රදර්ශනය පිළිබඳ කතාකරන විට දැන් බොහෝ දෙනෙක් මතක් කරන්නේ පොත් නොව නූඩ්ල්ස්ය. පොත් පරිශීලනය කිරීම ඉතා වටිනා වූත් මහඟු වූත් කාර්යයකි.නමුත් මෙම කාර්යයද ජනප්‍රිය සංස්කෘතියට එක් වී හමාරය.මෙම ප්‍රදර්ශනයට කාලයක් තිස්සේ හොයන තමුන් වඩාත් ප්‍රිය කරන පොත් ගැනීමට පැමිණෙන විද්වතුන් නැතිවාම නොවේ නමුත් එන්නන් වාලේ තම ෆේස්බුක් පිටුව හැඩ කිරීමට පමණක් පැමිණෙන සමහරක්ද නැතුවාම නොවේ. 

මෙවැනි පොත් ප්‍රදර්ශන පැවැත්වීම තුළින් රටක ජනතාවකගේ සාක්ෂරතාවය ඉහළ නැංවිය හැක. එපමණක් නොව උසස් විශ්‍රාන්තියක් ලබා දෙන පොත් වලින් ජනතාවගේ රසවින්දනය දියුණු කළ හැක. එමෙන්ම සංවේදී පුද්ගලයන් බිහි කිරීම එහි තවත් එක් ප්‍රතිඵලයක් වෙයි. තවද  ඉතාගන්නට බැරිතරම් දැනුම් සම්බාරයක් මෙවැනි කාර්යය තුළින් විසුරුවා හැරිය හැක. නමුදු මේ සංසිද්ධිය මුලු රටටම සිදුවනවාදැයි යන්න එක්තරා ආකාරයකට සිහිකරගත යුතු කාරණාවකි.

ප්‍රදර්ශන සතිය පුරාවට බොහොමයක් අයගේ මුහුණු පොත් පිරෙන්නට ඇත. වට්ස්ඇප් ස්ටේටස් විනාඩියෙන් විනාඩියට පිරෙන්නට ඇත.සමහරු පොටෝ ෂූට්ද  කරන්නටද ඇත. "අපි Book Fair ගියානෙහ්" බොහෝ දෙනෙක් උජාරුවට දොඩවන්නට ඇත.පොත් ගන්නට නොව තම ඇඳිවත පෙන්වීමට ගිය අයනම් එමටය. යාලුවො එක්ක "පොඩි ආතල්" එකක් ගන්නට ගියපු අයද වැලි කැට ගානටය.

අපේ මිනිසුන් ඉක්මනින්ම වෙනස් වීමට හැඩ ගැසීමට කැමතිය.මෙය විසි එක් වන සියවස බව ඇත්තය.අපි වෙනස් විය යුතුය යන්නත් ඇත්තය. නමුත් අපි වෙනස් වන්නේ හරියාකාරවද යන්න සිතා බැලීම වඩා හොඳය. පොතට ඇලුම් කරන්නාට කිසිම දිනක වරදින්නේ නැත. පොතට ඇලුම් කිරීම තුළින් සංවේදී පුද්ගලයකු මෙන්ම පුහු ආටෝප නැති සරල පුද්ගලයකු බිහි වේ. තම ආටෝපයන් එසේත් නැත්නම් තම "පොෂ්" කම පෙන්වීමට ප්‍රදර්ශනයට යන පුද්ගලයන් වෙනුවට දැනුම ලබා ගැනීමට සහ උසස් මානසික ව්ශ්‍රාන්තියක් ලබාගැනීමට ප්‍රදර්ශනයට යන පුද්ගලයකු වනවානම් එය අගේ ඇති වැඩකි.ඊළඟ පොත් ප්‍රදර්ශනයේදීවත් එහි අරමුණ නිසියාකාරව තේරුම්ගනිමින් පොතක් ගන්නට යනවානම් එය අගය කළ යුතු වැඩකි.

-ක්‍රිෂෙල් වර්ණකුලසූරිය-✌️

No comments:

Post a Comment