ගුරු ගෙදරකට පා තැබුවෙමි


                  

තවත් එක් ගුරු ගෙදරකට මා පය තබා එතරම් කාලයක් ගෙවී ගොස් නැත. එහෙත් තවත් එක් ගුරු ගෙදරක් පමණක් නොව බොහෝ සෙයින් දැනුම අස්වද්දන්නාවූ මහා කෙතක් ලෙසින් මෙය හැඳින්වීම හුදෙක් මා විසින් සිදුකරන්නාවූ  සාධාරණයකි. ඊටත් ඔබ්බෙන් ගරුත්වය මුසු වූ කළගුණයකි.
                                       නමින් මෙය ශ්‍රී ලංකා වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයයි. කොලොම්පුරයෙන් එහාට වෙන්නට පිහිටා ඇති මෙම විශ්ව විද්‍යාලයය හරිහැටි පිහිටා ඇති භූමිය රත්මලානයි. මෙය වූ කලී ගොඩනැගිලි වලින් නොව සහෝදරත්වයේ ජීවයෙන් පිරුණා වූ විශ්ව විද්‍යාලයකි. ශ්‍රී ලංකාවේ වෘත්තිය අධ්‍යාපනය සඳහා ඇති එකම විශ්ව විද්‍යාලයය මෙය වීම එක් විශේෂත්වයකි. තවද ආසියාවේ විශ්ව විද්‍යාලයයකට පවතින විශාලම චිත්‍රාගාරය මෙහි වීමත් එක්තරා ආඩම්බරයකි.
විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස විද්‍යාජෝති මහාචාර්ය දයන්ත එස් විජේසේකර මහතා සහ උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ජී.එල්.ඩී.වික්‍රමසිංහ මහතා මහත් මෙහෙයක් ඉටුකරනු ලබයි. 1985 සිට නොයෙක් ආයතන ලෙස වෙනස්වීම් සිදුවෙමින් පැවතගෙන විත් 2009 මාර්තු මසක් වූ තුන්වෙනිදා වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයය ලෙසින් ආරම්භ කොට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිසු අයිතියට පවරන ලදී.දස වර්ෂයක් පිරෙන්නාවූ මෙම අවුරුද්දේ එහි ගුණ කතාකිරීම අතිශෝක්තියක් නොව එයට එක් කරන්නා වූ ගරුත්වයකි. 
                         අධ්‍යයන පීඨ දෙකක්ද ඒ යටතේ දෙපාර්තමේන්තු දොලොසක්ද ඒ යටතේ උපාධි පාඨමාලා පහළොවක්ද ඇති මෙම විශ්ව විද්‍යාලයය  සම්පුර්ණයෙන්ම තාක්ෂණය සහ වෘත්තිය පුහුණුව මත පදනම් වූවකි. විශ්ව විද්‍යාලයය එය සතු සියලුම සම්පත් භාවිතා කරමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ලබා දිය හැකි උපරිම දැනුම ලබාදිමට කැපවී සිටියි. මෙම විශ්ව විද්‍යාලයය සතුව විද්වත් දේශක මඩුල්ලක්ද පවතියි. එම දේශක මඩුල්ල විශ්ව විද්‍යාලයය තුළින් එලදායී පුරවැසියකු සමාජයට බිහිකිරීම ලා මහත් මෙහෙවරක් ඉටුකරනු ලබයි.
        මෙය මගේ විශ්ව විද්‍යාලයයි. මගේ විශ්ව විද්‍යාලයය දස අවුරුද්දක් පුරාවට කිසිම දුප්පත් පොහොසත් හෝ සිංහල දෙමළ හෝ සුදු කලු හෝ ලෙස කිසිම කුලයක් භේදයක් නොතකා මහත් වූ ශිෂ්‍යය ප්‍රජාවක් දැනුමින් ස්වයංපෝෂිත කර ඇත. තවද ශිෂ්‍යයන්ගේ දක්ෂතා එළිදැක්වීමෙහි ලා වේදිකාවක් නිර්මාණය කර ඇත. කොළයට පමණක් සීමා නොවුණු ප්‍රායෝගීක මිනිසෙකු විශ්ව විද්‍යාලයයෙන් දවසක එළියට යනු ලබයි. දැනටමත් එවැනි බොහෝ පිරිසක් එළියට ගොස් හමාරය. මෙය එක්තර අතකට මවකි. තවත් අතකට පියෙකි. එතරම් සබඳතාවයක් සිසුන් හා විශ්ව විද්‍යාලයය අතර පවතියි.සිසුන් විශ්ව විද්‍යාලයය පරිසරය හා එතරම්ම සම්බන්ධ වී ඇත. 
                   අනෙකුත් විශ්ව විද්‍යාලයයන් හා සසඳන කළ ඇවිත් ඇති ගමන කෙටිය. නමුදු ගමනාන්තය දිගුය. සමස්ථ විශ්ව විද්‍යාලයයන් හා පැවති තරගාවලියන් අතුරින් බොහෝ ජයග්‍රහණයන් ලබාගැනීමට මෙන්ම කරට කර තරගකිරීමට වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයය සමත්වීම එහි ඉදිරි ගමන ගැන අනාවැකියක් ලෙස සැලකිය හැකිය.
                                            මගේ විශ්ව විද්‍යාලයය තවත් දිගුකලක් බොහොමයක් සිසුන්ට තෝතැන්නක් වෙනවා නොඅනුමානය. මෙය මගේ පමණක් නොව ඔබේද විශ්ව විද්‍යාලයයි. මෙය රැක ගැනීම අප කර පිට පැවරී ඇත. මෙතෙක් කලක් පැවතගෙන ආ ආකරයකටත් වැඩි හොඳින් තවත් චිරාත් කාලයක් අඛණ්ඩව වැඩි දියුණු වෙමින් පැවතීමට සුභාසිංශන එක්කරන්නෙමි.

-ක්‍රිෂෙල් වර්ණකුලසූරිය 🙏-

No comments:

Post a Comment