COIN BOX

දාහයෙන් හෙම්බත් වූවන්ට අක් වැස්සෙන් දිය දෝතක්....

නවක කෙටි චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස චතුර ධනවර්දන නිෂ්පාදක වරයා විසින් නිෂ්පාදනය කරන ලද COIN BOX චිත්‍රපටය මා වඩාත් සිත් ගන්නා ලදි.එයට බොහෝ හේතූන් බලපෑ අතර ඒ පිළිබඳ විග්‍රහයකි මෙය...
      COIN BOX නම් මෙම සිනමා නිර්මාණය හුදෙක් ජීවිතයේ යතාර්ථය පෙන්වා දෙයි.අතීතය හා සසදන කල්හි වර්තමානය වන විට මිනිස් ජීවිත පාලනය වන්නේ මුදල් මගිනි.කෙටි චිත්‍රපටයක් ලෙස එලි දැක්වුනු මෙම සිනමා නිර්මාණය වර්තමාන මිනිසා ස්වභාවයෙන්ම මුහුණ දෙන සමාජීය ගැටලු පිළිබඳ තාත්ත්විකව දක්වා තිබේ. මිනිසා යනු උපතින්ම නොයෙකුත් අවශ්‍යතාවන්ගෙන් සපිරි පුද්ගලයෙකි. මෙම කෙටි චිත්‍රපටයේ නිරූපණය වන පරිදි එක් පුද්ගලයකු තමාගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට යාමේදී ඔහුගේ එම අවශ්‍යතාවය සදහා නිරන්තරයෙන් යම් කිසි මුදලක් වැය කිරීමට සිදු වේ.ඔහු තම කුසගින්න නිවා ගැනීම සදහා තම නිවසේ ඇති ශීතකරණය විවෘත කිරීමට සැරසෙද්දී එය විවෘත නොවන අතර එහිදී ඔහුට එය විවෘත කර ගැනීම සදහා කිසියම් මුදලක් යොමු කිරීමට සිදු වේ..තමන්ගේ පිපාසය නිවා ගැනීමට ජල කරාමය විවෘත කිරීමේදී එයද විවෘත නොවන අතර ඒ සදහා ද මුදලක් වැය කිරීමට සිදු වේ. නිෂ්පාදකවරයා මෙම චිත්‍රපට තුළින් සමස්ථ සමාජයටම සුවිශේෂී වූ පනිවිඩයක් ලබා දීමට උත්සාහ දරා තිබේ. වර්තමාන ලෝකය මූලිකවම මුදල මතම පදනම් වූ සමාජ වටපිටාවකි.එය පොහොසත් පුද්ගලයකුට දරාගත හැකි වුවද දුප්පත් මිනිසාට එය බොහෝ වෙහෙසකර ක්‍රියාවලියකි. මෙම චිත්‍රපටය තුළ එය වඩාත් රසිකයාට දැනෙන අයුරින් ඉදිරිපත් කිරීමට නිෂ්පාදකවරයා සමත් වී තිබේ.

  එක් චරිතයක් වටා ගෙතුන කතාවක් වුවද එය චිත්‍රපයේ හැඩයට කිසිදු හානියක් වී නොමැත.එය ඉතා රසවත්ව ප්‍රේක්ෂකයාගේ කුතුහලය වැඩි කරන අයුරින් නිර්මාණය කර තිබේ.තම නිවසේ ඇති රූපවාහිනී යන්ත්‍රය ද ක්‍රියාත්මක නොවන අවස්තාවක ඒ සදහාද යම් මුදලක් වැය කිරීමට එම පුද්ගලයාට සිදු වන අවස්තාවක එය ඔහුට දැනෙන අයුරු රසිකයන් වන අපගේ සිතටද  ඒ අයුරින් දැනවීමට නිර්මාණකරුට හැකියාව ලැබී තිබේ.

    BOX එක තුළට මුදල් ඇතුලත් කරනවාත් සමග එල්ලවන අතුල් පහර රසිකයන් වන අපට එක එල්ලේ ලැබෙන පහරක් ලෙසින් මා හට දැනුනි. එය සමස්ථ සමාජයටම එල්ලවන අතුල් පහරකි. මෙම සමාජ ක්‍රමය නිර්මාණය කර ගන්නේද අපිය. මෙම සමාජ ක්‍රමය වෙනස් කර ගත හැක්කේ ද අපටමය. එය ඉතා නිර්මාණශීලිව ව්‍යංගාර්තව රසිකයාට දැනවීමට නිර්මාණකරු උත්සාහ දරා තිබේ. එම උත්සාහය අති සාර්ථක වී ඇති බවට මා හට හැගෙයි.

  අවසානයේ එම පුද්ගලයාට මෙම ක්‍රමය දරාගැනීමට නොහැකි තත්වයක් පවතින අතර ඔහු ඒ සදහා තෝරා ගන්නා වඩාත් උචිත ක්‍රමය ලෙස ඔහු දකින්නේ සියදිවි නසා ගැනීම වේ. මුදලට යට වූ සමාජ රටාව තුළ තම ආහාර වේලට වතුර වීදුරුවට මිලක් නියම වෙද්දී එම පුද්ගලයාට එය මහත් හිසරදයක් බවට පත් වේ.එහිදී තමා විසින්ම තම හිසට ගිනි අවිය එල්ලකර ගත්තද එයද ක්‍රියාත්මක වීමට මුදලක් අවශ්‍ය වේ.එයද ක්‍රියාත්මක නොවුන අතර මුදලක් එක් කල පසු එය ක්‍රියාත්මක විය. එය එසේමයි චිත්‍රපටය තුළ සෘජුවම නොපෙන්වුවද එය ප්‍රේක්ෂකයකු ලෙස මා හට එලෙස හැගුනි. ජීවිතයේ අවසාන මොහොතේ පවා එයට ද මුදලක් වැය වන බව රසිකයන්ට ඉතා සූක්ෂ්ම ලෙස දැනවීමට නිෂ්පාදක වරයා සමත් වී තිබේ.

COIN BOX හි තේමාව වර්තමානයට වඩාත් උචිත වේ.එසේම මෙහි රංගන ශිල්පියා ප්‍රේක්ෂකයාගෙ සිත් තමාගේ රංගනය කෙරෙහි බැද තබාගන්නා අයුරින් නිර්මාණයට සාධාරණයක් සිදු කර තිබේ. ඔහුගේ මුහුණේ ඉරියව් ඒ ඒ අවස්තාවට ගැලපෙන ලෙස නිර්මාණය වී තිබේ. රංගන ශිල්පියකු සතු සතර අභිනයෙන් වාචික අභිනය හැරෙන්නට අනෙකුත් සියලු අභිනයන් ඉතා සාර්ථකව නිර්මාණය තුළ දක්නට ලැබේ.එසේම BOX එක තුළට මුදල් වැටෙන විට එල්ල වන අතුල් පහර ඒ මොහොතේ අපට එල්ල වන්නා සේ දැනෙයි.

එසේම කැමරාකරනය තුල විවිධ අවස්තාවල විවිධ මානයන්ගෙන් අවස්තාවට උචිත ලෙස හැඩතල රූපරාමු අවස්තා සිනමාපටයේ හැඩය තවත් තීව්‍ර කිරීමට සමත් වී තිබේ. ඒ අනුව නිර්මාණය තුළ නිර්මාණකරුවා දක්වා ඇති දක්ශතාවය හා නිර්මාණයේ සාර්ථකත්වය COIN BOX  නම් චිත්‍රපටය සුවිශේෂී නිර්මාණයක් බවට නම් කිරීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇතැයි මාගේ විශ්වාසයයි...

M.M.H.P.K.De Silva
MAPT/19/B1/02

No comments:

Post a Comment