අක් වැස්සෙන් නිමේශයක්

Voiced silence යන කෙටි චිත්‍රපටය ගීත් අසංක සපුතන්ත්‍රි නම් කලාකරුවා විසින් ගෙතුණු සහ අධ්‍යක්ෂණය කරන ලද්දකි.මිනිත්තු විසි හයක් පුරාවට අපූර්වයෙන් නාට්‍යමය ස්වරූපයකින් තිරය මත දිගහැරෙන්නාවූ මෙම සිනමා කාර්යය යථාර්ථය යටපත් කරන්නාවූ සමාජයක යුක්තිය සහ සාධාරණත්වය ඉස්මතු කිරීමට උත්සුක වන්නා වූ එක් සාමාන්‍ය පුද්ගලයකු මූලික කරගනිමින් නිර්මාණය වූවකි.

එක් අතකට මෙය භාවනාවකි.මෙහි එන රිද්මය වචන භාවිතය සහ හඬ පාලනය සියුම්ව ගලාගෙන යයි. තවත් අතකට එම භාවනාව තුළින් රසවිඳින්නාගේ මනසට කුමක්දෝ ගැඹුරු චින්තනයක් එබ්බවීමට උත්සාහ කරනුලබයි. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමෙහි ලා චිත්‍රපටකරුවා ප්‍රධාන චරිත හතරක් ඔස්සේ කතාන්දරය වියනු ලබයි. එක් චරිතයක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙකි. ඊටත් එහා ගිය පුද්ගලයෙකි.තවත් චරිතයක් එම ගුරුවරයාගේ ඇසුර ඇලුම් කළ තරුණියකි.ඇයද වෘත්තියෙන් ගුරුවරියකි. ඊළඟ චරිතය නම් තම පුතු එනතුරු මග බලාසිටින මෑණියකි.අනෙක් චරිතයනම් එම මෑණියන්ගේ පුතුය.

මෙම කෙටි චිත්‍රපටය ඇරඹෙන්නේම වර්තමාන සමාජය පිළිබඳව එළිදරව් කරමිනි.වයසින් තරමක් මුහුකුරා ගොස් ඇති තරුණිය තම ස්වාමියා සමග නිදනකාමරයේදී සංවාදයකට මැදිවී සිටියි.ඔහු ඇය ඉදිරියේ හැඩ වැඩ වෙමින් හවසට ඔහුට සහභාගි වීමට ඇති විශේෂ උත්සවය ගැන පවසයි.තවද ඇයට තෑග්ගක් ලබාදෙන ඔහු ඇගේ හැඟීම් වලටවත් ඉඩ නොතබා ඇය සමග පින්තූරයක් ගනියි. මෙම පුද්ගලයා නියෝජනය කරන්නේ වර්තමාන සමාජයේ බහුතරයය.ඉක්මනින් වෙනස් වන ලෝකයත් සමග රැල්ලට හසුවී ඇති සමාජයේ වැඩි කොට්ඨාසයය. තම සංස්කෘතීන් සම්ප්‍රදායයන් යටපත් කරමින් විචිත්‍ර සංස්කෘතීන් වැළඳගැනීමට කට අයා බලාසිටින යටිපෙළ කියවාගැනීමට නොහැකි කොටසය. නියමාකාරයෙන් කියනවානම් රටට හෙණ වැදුනත් තමා ගැනම පමණක් සිතන්නාවූ සයිබර් වහල්ලුය.

තරුණිය සහ ඇගේ ස්වාමියා අතර සංවේදී සබඳතාවයක් නොමැත.ඇගේ සංවේදී මතකයන් ඇයව ගෙනයන්නේ ඇය කාලයක් දැන හඳුන සිටි ගුරුවරයා වෙතටය.ඔහු එක් සොඳුරු මිනිසෙකි.ඔහු ලෝකය දෙස බලන කෝණය අපට ඉතාගන්නටවත් බැරිතරම් දුරය.තම දැක්ම තම සිතිවිලි තම වචන ලෝකය වෙනුවෙන් කැප කර ඇති පුද්ගලයෙකි. ඊටත් ඔබ්බෙන් විස්තර කරනවානම් ඔහු පරාර්ථකාමි නිසල චරිතයකි. ඔහුගේ ආරාධනයෙන් කෝපි කෝප්පයක් රසවිඳීමට දෙදෙනා සවසක හමුවෙයි. ඔහුගේ හදවතෙන් නැගෙන්නාවූ රාවය චිත්‍රපටකරුවා ගෙනඑනු ලබන්නේ මැය ඉදිරියේය.ඔහු තුළින් සමාජයේ යථාර්ථය අවබෝධ කරගත් සුලුතරය නියෝජනයකරයි. විටෙක ඔහු දර්ශනවාදියෙකි. තවත් විටෙක ඔහු සියලු ධර්මයන් අගයන්නෙකි. ඔහු මගින් දෑස පාදාගන්නා දරුවන්ව රූපවාහිනිය හමුවේ විකුණාකෑමට ඔහු අකමැතිය.සියලුම අසාධාරණයන් අභිමුව ඔහු නැගීසිටීමට සූදානම්ය.කෝපි කෝප්පයේ දුමත් සමග ඔහුගේ සියලු අදහස් ඇය ඉදිරියේ නිරාවරණය වෙයි. චිත්‍රපටකරුවා ඔහුගේ අතට සිගරැට් එකක් දීම තුළින් ගුරුවරයාගෙන් එහාට ගිය විප්ලවවාදියකු මතුකරයි. ඔහු සමාජය තුළ යහපත් වෙනසක් ඇතිකිරීමට බලාපොරොත්තු වෙන්නෙකි. ඒ වෙනුවෙන් අරගල කරන්නෙකි. නමුත් ඔහු මෙම විප්ලවය කරනුයේ කිසිවෙකුට හිංසා නොකරමින් වීම ඔහුගේ මහත්මා ගුණය මනා ලෙස පෙන්නුම්කරයි.

ගුරුවරයා තාවකාලිකව නැවතී සිටින  නිවසේ අම්මා මෙහිදී කතාවට අවතීර්ණ වෙයි. ඇය තම අතුරුදන් වූ පුතු එනතුරු ඇඟිලි ගනිමින් බලාසිටියි.ඇය මෙම ගුරුවරයාට සලකන්නේ ඇගේම පුතුට මෙනි.එයට හේතු සාධක වන කාරණය වනුයේ ඔහු සහ ඇගේ පුතු අතර සම ලක්ෂණ සහිත වීමය.ඇගේ පුතු පින්තූරයක්   හැරුණු විට කොයිමවිටකවත් සිනමා තිරය මත මතු නොවෙයි.නමුදු සොඳුරු ගුරුවරයා තුළින්ම ඇගේ පුත්‍රයා ඉස්මතුකර පෙන්වනු ලබයි.එම අතුරුදන් වූ පුද්ගලයා යථාර්ථය වෙනුවෙන් සටන් කර රජය විසින් නිහඬ කරන්නාවූ පුද්ගල පන්තිය නිරූපණය කරයි.ගුරුවරයා ඔහුව තරුණිය ඉදිරියේ ගෙනැවිත් තබන්නේ මුලු සමාජයට එක ලෙස ආදරය කරන්නාවූ පුද්ගලයකු ලෙසිනි.නමුත් ඔහු සමාජය කෙරෙහි දැක්වූ ආදරයම ඔහුගේ අතුරුදන් වීමට හේතු වී ඇත.මොහුද සමාජයේ යහපත් වෙනසක් බලාපොරොත්තු වූ අයෙකි.නමුත් සමාජයේ යථාර්ථය අවබෝධ කරගෙන එය අනිත් අයටත් පහදා දීමට තම අත ඔසවන්නාවූ ස්වල්පයටද මෙම ධනවාදී සමාජය තුළ පැවතීමට අසීරුය. 

යුක්තිය  සහ සාධාරණය වෙනුවෙන් තම හඬ අවදි කරන්නාවූ ඇගේ දෙවෙනි පුතාටද අත්වන්නේ එම ඉරණමය. තරුණියට ඈ ඉතා ඇලුම් කල ආදරණීය ගුරුවරයා අහිමිවෙයි. අතුරුදන් වූ පුද්ගලයා විසින් ලියූ කවිද ආදරණීය ගුරුවරයාගේ මතකයන්ද සමග 
ඇය අදටත් ජීවත්වෙයි.අම්මා තම පුතු සහ තම පුතුට මෙන් ආදරය කල දෙවෙනි පුතුද එනතුරු තවමත් මග බලාසිටියි.මොහොතක් සිතන්න. මෙය රිචඩ් ද සොයිසා ගේ කතාව විය හැක.මෙය ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ කතාව විය හැක. ඔබගේ මගේ කතාව විය හැක.සමාජයේ   යහපත වෙනුවෙන් නැගී සිටීන ඕනෑම කෙනෙකුගේ කතාව විය හැක. එකම දේ නැවත නැවතත් පෙන්වීම වැනි සුලු අඩුපාඩු හැරුණු විට මෙම කෙටි චිත්‍රපටකරුවා තම කෙටි චිත්‍රපටයේ සන්දර්භය රසවිඳින්නාට අර්ථවත් ලෙස ඉදිරිපත් කිරීමට සමත් වී ඇත.

-ක්‍රිෂෙල් වර්ණකුලසූරිය❤️-

No comments:

Post a Comment