ජපන් යුවතියගේ ඉරණම ...


                මාර්ටින් වික්‍රමසිංහයන් ලියු විරාගය” නවකතාවෙන් පසුව නිර්මාණය වූ ශ්‍රෙෂ්ඨ නවකතාවක් ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ නවකතාව පාඨක විචාරක සම්භාවනාවට පාත්‍ර වේ.ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණදිය නොහැකි වූ සංවේදී කලාකරුවකුගේ චරිතය මෙම නවකතාවෙන් නිරූපනය වේ.
                     නවකතාවේ ප්‍රධාන චරිත දෙකකි එනම් දෙවෙන්දොරා සහ නොරිකො සං ය.මා මෙහිදී උක්තකොට ගන්නේ දෙවෙන්දොරා නොව නොරිකො සං ය.මන්ද යත් ඇය තරුණියකි.ඇයට මුහුණ දීමට සිදුවන ජීවිතයේ අභියෝග ඇයට පමනක් නොව වර්තමාන සමාජයේ තරුණියන්ගේ ද අභියෝගවන නිසාය.
                   නොරිකො ජපන් යුවතියකි.ඇය තමාගේ ජීවිතය ගැටගසා ගන්නේ අවන්හලක සේවයකර ලබා ගන්නා මුදලිනි.ඇයට දෙවෙන්දොරා හමුවන්නේ ද එම අවන්හලේදී ය.ඇයගේ ජීවිතය වෙනස් වන්නේ දෙවෙන්දොරාගේ එම හමුවීම සමගයි.දෙවෙන්දොරා සමග ඉතා සමීපව කරයුතු කරන ඇය කබුකි බැලිමට පවා ආරාධනා කරන්නේ ඒ නිසාය.ඇය දෙවෙන්දොරා තම පවුලේ අයටද හදුන්වා දෙයි.
                    ඇය දෙවෙන්දොරාහට බිරිය මෙනි.ඇය දෙවෙන්දොරාගේ නිවසේ සියලු කටයුතු කර දෙයි. ඒ නිසාම ඇයට සමාජයෙන් නොයෙක් අපවාද  නැගුවද ඇය එම චොදනා නොතකා දෙවෙන්දොරාගේ නිවසේ සියලු කටයුතු වලට සහය වේ.
          ඇය එසේ වුවත් දෙවෙන්දොරා යනු තීරණ ගත්තද එම තීරණ ක්‍රියාවට නැංවීමට තරම් ශක්තියක් නොමැති තරුණයෙකි.ඔහු නොරිකො විවාහකර ගන්නා බවට  පොරොන්දු දුන්නද ඇය විවාහකර ගැනීමට කිසිදු ක්‍රියමාර්ගයක් ගන්නේ නැත.මව නොමැති ඇයට ලැබුණේ පියාගේ සෙනෙහස පමණි.පවුලේ බර තම ශ්‍රමය මත යැපුණු නමුදු ඇයට පියා මිය යාමෙන් පසුව ඇයට තනි විය.දෙවෙන්දොරා තමා විවාහ නොකරගන්නා නිසා ඇය වෙනත් විවාහයකට උනන්දුවන්නේ ජීවත් වීම සදහා ඇයට විවාහ වීම අතිශය වැදගත් වූ නිසාය.එහෙත් දෙවෙන්දොරා එයටද ඉඩ දෙන්නෙ නැත.
“නොරිකොට පෙම්වතෙක්?ඈ විවාහ වීම වෙනම කාරනාවකි.එහෙත් ඇයට පෙම්වතෙක් සිටීම...”
              මෙලෙස ඇයට කෙසේ හෝ විවාහ වීමට ඉඩ නොදෙන දෙවෙන්දොරා ඇයට විවාහ කර ගන්නා බවට බලාපොරොත්තු ඇති කරයි.එහෙත් ඔහු විවාහ වීම කෙරේ උනන්දුවන්නේ නැත.ඔහු සමග ලංකාවට පැමිණ ජිවත් වීමට සිහින මවන ඇය කෙතරම් රැවටී ඇත්ද....අවසානයේ ඇය හැරදමා දෙවෙන්දොරා ලංකාවට පැමිණේ.
             කතාව අවසන අපේක්ෂාභංගත්වයට පත් වූ අසරණ වූ ජීවත් වීමට තම ශ්‍රමය පමනක් උරුම වූ ඇය අසරණ තරුණියකි..පිරිමින්ගේ තීරණවල ආත්මාර්ථකාමීත්වය නිසා අසරණ වූ තරුණියකගේ ඉරණම නොරිකොගේ චරිතය ඇසුරෙන් මනාව පැහැදිලි වේ.
අවසානයේ  අපෙක්ෂාභංග වූ  සමාජය ඉදිරියේ අසරණ හා අවිනිශ්චිත ජීවිතයකට උරුමකම් කියූ ඇයගේ ඉරණම එසේ විසදිය.

සටහන: සමාලි විජේසුන්දර ✍️
                                                                                                                     


No comments:

Post a Comment