සුනීතා....ඇගේ කතාව....

සුනීතා
ඇගේ කතාව....,



Petrichor සිනමා දැක්මට මා යන්නේ සිනමාපට 16ක් නරඹා අමතක කර දැමීමට නොවේ. හුදෙක්ම මට අවැසි වූයේ ඉන් එකක් ඩැහැ ගෙන එයට කිසියම් කතිකාවතක් ගොඩ නැගීමයි. ඒ සදහා වඩාත් සුදුසු යැයි සිතා මා තොරා ගත්තේ සුනීතා කෙටි චිත්‍රපටයයි...

සුනීතා යනු මාලින්ද ලංකාපුත්‍ර අධ්‍යක්ෂකවරයාගේ කෙටි චිත්‍රපටය යි. ඔහු පෙන්වන පරිදි සුනීතා යනු ගින්නකට මැදිව ජීවත් වන තවත් එක් ගැහැණියකි. චිත්‍රපටයේ පෙලගැස්ම මම කෙටියෙන් මෙසේ සදහන් කරමි. සුනීතා යනු කිසියම් ආයතනය ක පිරිසිදු කරන තැනැත්තියක ලෙස සේවය කරන්නියකි. මේ සේදුම් අංශයේ සේවකයන් බාරව සිටි ප්‍රධානියාගෙ අස්වීමේ දිනයෙන් චිත්‍රපටයේ ඇරඹුම අධ්‍යක්ෂකවරයා ලබා ගනී.

සුනීතා යනු තලතුනා, තලෙලු, මැදි වයසේ වූ ගැහැනියකි. ඇය නිතර ඇති වන්නාවූ කැස්සකින් දැඩි ලෙස පීඩා විදින්නියකි. ප්‍රධානියාගෙ ඉවත්වයෑමේ දිනයේ සේවකයන් සියලු දෙනා ඉදිරියේ හිස් වන තනතුර පිරිවීමට පැමිණෙන තැනැත්තා පෙනී සිටී. ඔහු සියලු දෙනා දෙස විමසිලිමත් වන අතර වැඩිමනක් විමසිලිමත් වන්නෙ කාන්තාවන්ගෙ සිරුරු වල සාර සොභාව දැක ගැනීමටය. ක්ෂනයකින් සුනීතාගෙ රුවටද බැලුම් හෙලන ඔහුගේ ඇස්වලින් අධ්‍යක්ෂකවරයා ඔහු කවුරුන්ද යනවග හරිහැටි ප්‍රේක්ෂකයා ට දනවයි.

කෙසේ හෝ සුනීතා නව ප්‍රධානියා කෙරේ එතරම් කැමැත්තක් නොදක්වා තම රාජකාරියේ යෙදෙයි. එය නුරුස්සන ප්‍රධානියා ඇය ඉවත්කිරීමට මාන බලයි. ඒ කෙසේද යත් ඔහුගේ අනියම් ඇසුරට පත් කාන්තාවක ට සුනීතාගේ වැඩපල භාර දීමෙනි. මෙයින් කෝපයට පත් සුනීතා ඔහුව ඉතා කුරිරු ලෙස එදින රාත්‍රියේදි ඝාතනය කරයි. චිත්‍රපටය අවසානයේ පෙන්වන ඇයගේ හඩැති භයංකර හිනාවෙන් අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයා තුල දනවන්නේ විටෙක අප්‍රියසහගත, අශිෂ්ට වූද විටෙක ජයග්‍රාහක වන්නා වූද ලීලාවකින් යුත් සිතුවිලි ගොන්නකි.

සැබැවින්ම අප ජීවත් වන්නේ සෑම දෙයක්ම පාහේ නරක ලෙස සිදුවන ලෝකයකය. එවැනි ලෝකයක ඍණාත්මක ආකල්පම අප බලාපොරොත්තු නොවිය යුතුය. අප බලාපොරොත්තු විය යුත්තේ ලෝකයේ පවත්නා මේ කාලකන්නි  කමින් මද නිවීමකි. ඒ නිවීමට යම් පූර්වාදර්ශයක් සුනීතා අපට පෙන්වා දෙයි. ඇය අවසානයේ ජය ගත්තා යැයි අප තුල හැගීම් දනවන්නේ එහෙයිනි. ඇය ඇගේ පලිය ගත්තාය. දීර්ඝකාලීන ව යටපත් කරගත් කෝපය ඇය ඒ රාත්‍රියේ නිවා දැම්මාය.

      පොදුවේ ප්‍රේක්ෂකයින් සිනමා අධ්‍යක්ෂකවරයෙකු ගෙන් බලාපොරොත්තු වන්නේ වැදගත් සමාජ කතිකාවතකට කිසියම් ම වූ ආරම්භයක් යැයි මගේ මතයයි. සමාජ නිහඩතාව බිදිය හැකි චිත්‍රපටයක් බිහිවිය යුත්තේ එහෙයිනි. සුනීතා යනු එවැනි ගණයේ සමාජ ගැටලුවක් සමාජය ඉදිරියේ පෙන්වා දීමකි.

    පිරිමියෙකුට යටත් නොවෙන ගැහැනු ලක්ෂනයක් මා සුනීතා තුලින් දුටුවෙමි. ඉහල සිට පහලට ත් පහල සිට ඉහලටත් පිරිමින්ගේ අණ පරිදි සැකසුනු මේ සමාජයේ කොන්දේසි විරහිතව තම ගමන් යෑමට සුනීතා දෙවරක් සිතනු මා දුටුවේ නැත. සුනීතා තම රෝගයට අවශය බෙහෙත් ලබා ගන්නේ ඇය ලබා ගන්නා වූ සොච්වම් මුදලේ පිහිටෙනි. ඇය අසලම පිරිසිදු කරනයේ යෙදෙන ඇගේ මිතුරියට ඇය වෙනුවෙන් කල හැක්කේ සුනීතා වෙනුවෙන් ඇගේ දුක අසා සිටීම පමණක් විනා අන් කුමක්ද...

      මේ සමාජයේ මෙවැනි කේදාන්තයන් එකකින් දෙකකින් නොව දහස් ගනනකින් පිරී ඇත. ඒවාට ඇගිල්ල දිගු කල යුත්තේ පවතින්නා වූ සමාජමය හැඩගැසීමටයි. බොහෝ පිරිමින්ට ගැහැණිය යනු තම "ආතල්" එකේ කොටසක් පමණි. ඒ අනුව ගැහැණිය ඇයගේම ආතල් එකක් පවත්වා ගැනීම පෙලක් පිරිමින්ට උග්‍ර විෂ සහිතය.මා යෙදූ "ආතල්" යන වචනයට කැමති අර්ථයක් ඔබට යොදා ගෙන විමසිය හැකිය...

සුනීතා අවසානයේ මිනීමරුවෙකි. නමුත් ඇය සුපුරුදු පරිදි නැවත තම රාජකාරියේ යෙදෙන විට මහ හයියෙන් දත් විලිස්සා සිනාසෙන්නේ ඇයගේ සිතේ මෙවැනි සිතුවිල්ලක් ඇතිවූ නිසා යැයි මට සිතේ. ඒ නම්..,
   " ඔබට මා බිදෙන හැටි බලා සතුටු වීමට පුළුවන. නමුත් ඒ සතුට බොහෝ කල් නොපවතින බව මට සහතිකය. එනම්.. කිසිවෙක් මා දීර්ඝකාලීන ව බිදුනු අයෙක් බවට පත් කිරීමට මෙතෙක් හැකි වූයේ නැත...."

ඉඩෝර කාලයන්ට පොලොව ඉරිතලනවා මිස දෙදරා දෙකඩ වන්නේ සදහටම නෙමේය. යලි එක් වැස්සකට ඒ සියල්ල මකා දමා නටඹුන් පවා සැගවිය හැකිය.

සුනීතා අපට දෙන පණිවිඩය එයයි..


           සටහන - කාවින්දි වීරසිංහ
                      MAPT/19/B1/04

No comments:

Post a Comment