ජනාධිපතිවරණය යනු මෙරට තිබෙන මැතිවරණ අතර අතිශය උණුසුම් මැතිවරණයකි. පළාත්පාලන මැතිවරණ ,පළාත්සභා මැතිවරණ වලදී ඡන්ද දීමට නොයන ඡන්දදායකයා මෙන්ම දේශපාලනය පිළිබඳ උනන්දු නොවන බොහෝ දෙනා ජනාධිපතිවරණයකදී මහත් උනන්දුවෙන් දේශපාලනය පිළිබඳ කතාකිරීමටත් , ඡන්දය ප්‍රකාශ කිරීමටත් ක්‍රියාකරති. එනිසා ජනාධිපතිවරණයක් යනු මුලු රටේම අවධානය දිනාගන්නා මැතිවරණයකි.
තවද ජනාධිපතිවරයා යනු රටක් නියාමනය කිරීමට රටේ මහ ජනතාව විසින් විශ්වාසයෙන් පත්කරගනු ලබන පාලකයාය. නමුත් වර්ථමානය වන විට "ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය යන කියමන මෙරට ජනතාවට හාස්‍යට කරුණක් වී ඇත. අසරණ අහිංසක මින්සුන්ගේ දුක්ගැහැට තේරුම්ගන්නා නායකයෙක් තෝරාපත්කරගන්නවා වෙනුවට අද ජනතාවට සිදුවී ඇත්තේ මළකුණකට පොරකන්නා වූ කාක්කන් රැළක් සේ බලයට එසේත් නැත්නම් රජපුටුවට ඒමට උත්සහකරන්නා වූ ප්‍රභූපැලැන්තිය දෙස මුව අයාගෙන බලාගෙන සිටීමටය. රටේ ප්‍රශ්න ඉදිරියේ ඇස් කන් වසාගෙන තම දේශපාලන අනාගතය මූලික කරගෙන තම මල්ල පුරවාගැනීමට ගැටෙන්නාවූ අන්තර් පක්ෂ රටේ මහජනතාවට දැනට තිබෙන ප්‍රශ්නවලට වඩා ඇති ලොකුම ප්‍රශ්නය වේ.
මේ මොහොත වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල බලවේගය තම ජනාධිපතිධූර අපේක්ෂකයන් නම් කර අවසානය. එක්සත් ජාතික පක්ෂය, පක්ෂය ඇතුලේම ඇති බල අරගලය නිසායෙන් අපේක්ෂකයෙක් පත්කරගැනීමට තවමත් සමත්වී නොමැත. බලය වෙනුවෙන් අරගල කරන්නා වූ මිනිසුන් මතින් රටක් ගොඩනැගිය හැකිද යන්න කල්පනා කිරිය යුතු කාරණාවකි.ජනනායකයෙක් ලෙසහැඳින්වීමට නම් එම පුද්ගලයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක් විය යුතුය. නායකයා කටමැත දොඩවන පාලකයෙක් නොව වැඩකරනා සේවකයෙක් වියයුතුය. සේවය ලබාගැනීමට නොව සේවය කිරීමට සූදානම් පුද්ගලයෙකු විය යුතුය.
රට ගොඩනැගීමට නම් ඔහු මුලින්ම තම පක්ෂය ගොඩනැගිය යුතුය. තම පක්ෂය ගොඩනැගීමට නම් ඔහු පක්ෂයේ සාමාජිකයන්ව නිසියාකාරව හැසිරවිය යුතුය.පක්ෂයේ සාමාජිකයන් නිසියාකාරව හැසිරවීමට නම් ඔහු පක්ෂය තුල ආදර්ශමත් සේවකයෙක් ලෙස කටයුතු කල යුතුය. එවිට ඔහු වටා නිතැතින්ම ගෞරවයක් ගොඩනැගේ. මේ වන විට එවැනි නායකයන් සොයාගැනීම නම් හඳ අල්ලන්නවා වැනි ක්‍රියාවකි. ඒ වෙනුවට තම සල්ලි බලයෙන් තම පරම්පරාවේ බලයෙන් තමා වටා ගෞරවයක් ගොඩනගාගැනීමට උත්සුකවන්නා වූ දේශපාලකයන් නම් එමටය.
රටක මහජනතාවට සේවයකිරීමට නම් රටක් පෙළෙන්නා වූ ආර්ථික සහ සමාජීය ප්‍රශ්නවලින් රටක් මුදවාගැනීමට නම් එම නායකයා රටේ මහජනතාව හොඳින් හැඳිනිය යුතුය. වායුසමීකරණය කරනලද ලොකු ලොකු වාහනවලින් එහෙට මෙහෙට යන්නාවූ කැරකෙන පුටු රත්කරන්නා වූ දේශපාලකයන්ට කුඹුරේ මඩ ගොඩේ ගිනි රස්නෙ අව්වෙන් බැටකන දුප්පත් ගොවියාගේ දුක නොතේරේ. තවද දූෂණ වංචා වල නොයෙදෙන එමෙන්ම රටේ සිදුවන දූෂණ වංචා නැවතිවීමට කොන්ද පන ඇති නායකයෙක් විය යුතුය. රට සංවර්ධනයත් සමග මිනිසාගේ බඩ වියත රැකගැනීමට ජන නායකයාට හැකිනම් ඊට වඩා දෙයක් ඔහුගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේද නැත. තවද අත්‍යවශ්‍යම දෙයනම් ඔහු බුද්ධිමත් මෙන්ම ප්‍රායෝගික මිනිසෙක් විය යුතුය. තවත් අධිපතිවාදියෙක් නොව පොළවේ පය ගසා ජීවත් වන සාමාන්‍ය මිනිසෙක් රටට අවශ්‍යව තිබේ. රටක නායකයාට තම ජනතාව කෙරෙහි හදවතේ තෙතමනයක් සහ තමන්ගේ කමක් ඇතිවිය යුතුය.
ජනාධිපතිවරණය තව නොබෝ දිනකින් පවත්වනු ඇත. තවත් නායකයෙක්ද පත්වනු ඇත. මෙම නායකයා පත්කිරීම ඇත්තේ අප අතේය. " මම නිල්, මම කැපුවත් කොළ" යැයි තවදුරටත් කියාගනිමින් දේශපාලකයන්ට කඩේ යනවාද එසේත් නැත්නම් සුදුසු නායකයෙක් පත් කරගන්නවාද යන්න අපි තීරණය කළ යුතුය. ජනතාව හමුවට විශාල රැළි පවත්වනු ලබන මෙම නායකයින්ම ජනාධිපතිවරණය අවසන් වූ පසු තමාව එම තැනට ගෙනඑනු ලැබූ අසරණ මිනිසුන්ව පාගා දමා තම බලය ව්‍යාප්ත කරගනිමින් තම වත්කම තර කරගන්නා බව අප තරයේ මතක තබාගතු වේ. රටේ අහිංසක මිනිසුන්ගේ පුංචි එවුන් පාසල් යන්නට සල්ලි නැතිව අහස පොළව ගැටලන්නට තරම් කල්පනාකරන්නා වූ මේ කාලයේ තම ප්‍රභූ පැලැන්තියේ දරුවන්ට විදේශීය අධ්‍යාපනයක් ලබා දෙන මාසෙන් මාසෙට කෝටි ගණනින් වාහන අරගෙන දෙන තාත්තලාව මේ රටට ගැලපෙන්නේ නැත. රළු පොළව, සරම, අප්පච්චි සහ අම්මා යන වචන වල වටිනාකම දන්නා ගමේ බත් පතක රස දන්නා මුලු ලෝකයක් ඉදිරියේ තම රට නියෝජනය කළ හැකි ජනතාවගේ නායකයෙක් රටට අවශ්‍යව තිබේ. තෝරාපත්කරගැනීමට මෙවැනි නායකයෙක් වර්තමානයේ පන ඇතිව සිටිනවාදැයි යන්න නැගී එන උභතෝකෝටික ප්‍රශ්නයකි.
- ක්‍රිෂෙල් වර්ණකුලසූරිය
No comments:
Post a Comment