ජනාධිපතිවරණයේ පසුවදන
අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරපු සිස්ටම් Change කරන්න කතා කරපු ඇතැම් අපේක්ෂකයෝ පරාජය පිළිගැනීමට නොහැකිව ජනතාවගේ පිට වරද පටවමින් විවිධ කතා කියමින් සිටින මොහොතක, ජයග්‍රාහකයාට සුභ පැතීමට වත් ඔවුන් හොයා ගැනීමට නොමැති පසුබිමෙක මේ පරාජයේදී තමන් සමග ඉතුරු වුණු කිහිප දෙනා සමග මැතිවරණ දෙපාර්තුමේන්තුවටම ගොස් ජයග්‍රාහී අපේක්ෂකයාට සුභ පැතීම සම්බන්ධව සජිත්ව අගය කළ යුතුය.
මැතිවරණ පරාජයත් සමග පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරෙන් ඉල්ලා අස් වීම තුළ ඔහු යමක් ඔප්පු කර ඇත. කිසිදු විරෝධයකින් තොරව මේ මොහොතේ ආණ්ඩුවේ සියළුම නායකයින් ඉල්ලා අස් විය යුතු අතර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු ඉෂ්ඨ කිරීමට අවංක සහයෝගය ඔවුන් විසින් ලබා දිය යුතුය.
සජිත් ට මෙවර ඡන්දය නොදුන් අය තුළ පවා සජිත් ගැන මහා ආරෝවක් හෝ වෛරයක් ඇතයි මා විශ්වාස නොකරමි. මේ සජිත් ගේ කර පිටින් ගියේ වසර 5ක් තුළ මිනිස්සු තුළ කැකෑරුණු වේදනාවක් ගැන ජනතාවගේ සමස්ථ පිළිතුරය.
එසේ නම් මේ පරාජයට වගකිවයුත්තන්ට මෙය සජිත් ගේ පුද්ගලික පරාජයක් යැයි එහි වගකීම ඔහු පිට පටවා අත පිහිදාගත නොහැක.
මේ රටේ බහුතර ජනතාවට මහා වරදක් කළ මිනිසෙකු නොවන අවුරුදු 52ක් පමණක් වූ සජිත් ට අත් වූ මේ ඉරණම සම්බන්ධව දේශපාලනය කියන්නෙ අනෙකා පාගා තලා දැමීමම යැයි කල්පනා නොකරන මිනිසුන්ට යම් වේදනාවක් නැත්තේ නැත.
2015 ජනවාරි 8 වෙනිදා තීරණාත්මකව පරාජය වීමෙන් මාස එක හමාරකටත් වඩා අඩු කාලයකදී නුගේගොඩ නගරයෙන් දෙවන අරගලය ඇරඹීමට රාජපක්ෂවරුන්ට තිබූ හයිය සජිත් ප්‍රේමදාස මහතාට ඇත්දැයි කියන්න මා දන්නේ නැත.
විශේෂයෙන්ම කුමනාකාරයේ දේශපාලන විවේචන තිබුණද එදා මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි විමල් ලා, ගම්මන්පිලලා වැනි සටන අත නොහරින සටන් සගයන් සජිත් සමග සිටිනා බවක් දැනට පේන්නට නැත. ඊයේ හවස 5 වෙනතෙක් සජිත් ළග සිටි අයගෙන් සාතිශය බහුතරයක් සජිත්ගේ ජනප්‍රියත්වයෙන් තම ඊළග පාර්ලිමේන්තු පුටුව රැකගන්නට මාන බැලූ අයය. ඒ අය දැනටම සජිත්ව අතහැර දමා ඇත. සජිත් ට තව දුරටත් යමක් කිරීමට අවශ්‍ය නම් සජිත් තම කණ්ඩායම ගැන කල්පනා කළ යුතුමය.
මා මේ පරාජය දකින්නේ 1970 වසරේදී එක්සත් ජාතික පක්ෂයට අත් වූ මාර පරාජයට සමාන පරාජයක් ලෙසය. 1970දී හතර ගාතෙන් වැටුණු එක්සත් ජාතික පක්ෂය ජේ ආර් විසින් කෙළින් කළේ කෙසේදැයි සජිත් ප්‍රේමදාස විසින් කියවිය යුතුය. අධ්‍යයනය කළ යුතුය. ඉන් පාඩම් ඉගෙන ගත යුතුය.
මෙවර රාජපක්ෂවරුන් ෆීනික්ස් කුරුල්ලකු සේ අළු මතින් නැගී සිටියා මෙන් යළි නැගී සිටීමට අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂය බින්දුවේ සිට පටන් ගත යුතුය. පැලැස්තර විසදුම් වලින් නැවත ගොඩ ඒමක් නැත. ජාතියට හතුරු, ආගමට හතුරු, බුදුදහමට වින කරන, ජාතිය ආගම පාවා දෙන්නන්ගේ ගුබ්බෑයමක් ලෙස හංවඩු ගැසී ඇති එක්සත් ජාතික පක්ෂය සුද්ධ කිරීම ඇරඹීම කොතනින් හෝ පටන් නොගත හොත් එක්සත් ජාතික පක්ෂය නම් දැවැන්ත දේශපාලන ප්‍රවාහය මේ රටේ දේශපාලන භූමියේ ලිලිපුට්ටෙකු බවට පත්වීම වැළක්විය නොහැක....!!! 🐘
මනුජ බණ්ඩාර
Mapt/B1/19/35



No comments:
Post a Comment