තවත් ගෙවුණු වසර පහකට පසු ශ්‍රී ලංකාවේ හත් වන විධායක ජනාධිපතිවරණය පසුගිය දහසය වෙනි දින එනම් වර්ෂ 2019ක් වූ නොවැම්බර් මස 16 වෙනි දින පැවැත්විණ.නව ජනාධිපතිවරයෙක්ද පත්විණ.කැවුම් කිරිබත් කා නැටුම් නටාද හමාරය.සමහරක් තම සේසතම නැති කරගෙනද හමාරය. ඒ කෙසේ නමුත් කොහොම කොහොමින් හෝ මැතිවරණ කොමසාරිස් තුමාගේ ඉමහත් සැනසීමකට ඡන්දයද හමාරය.
ඡන්දයෙන් ගොඩ ගිය පාර්ෂවය, ඡන්දයෙන් යට ගිය පාර්ෂවය හැරුණුකොට කතා කළ යුතු කාරණා බොහොමයකි. ඡන්දය භාවිතා කිරීමේ වැදගත්කම ඉන් එක් කාරණයකි. මක්නිසාද යත් ලියාපදිංචි ඡන්ද අතුරින් නොවැටෙනා ඡන්දද බොහෝ වෙන බැවිනි. ඡන්දය භාවිතා කිරීම පුරවැසියකුට අනිවාර්ය නොවුනද එය පුරවැසියකුගේ අයිතියකි. තම හඬ රටක තීරණාත්මක තීරණයක් වෙනුවෙන් නිහඬව එසවීමට ඇති අවස්ථාවකි. ශ්‍රී ලංකාවේ සමස්ථ ජනයා අතුරින් ඡන්ද හිමිකම ලැබෙන්නේ සීමිත කොටසකට පමණි.තවත් අතකට මෙය පුද්ගලයකු ලබන්නා වූ වරප්‍රසාදයකි. මෙම වරප්‍රසාදය භාවිතා නොකරන කොට්ඨාසයක්ද වෙයි.
ඇත්තය.ඡන්දය දානවාට වඩා නොදා ඉඳිම හොඳයැයි කීවොත් එය අතිශෝක්තියක් නොව.ශ්‍රී ලංකාවේ අතීතය හා දේශපාලනය ගලපන කළ සමහරක් ජනතාවට ඇත්තේ කලකිරීමකි.පාලකයෙකුගෙන් බලාපොරොත්තු වූ දේවල් නොලැබෙන විට එසේත් නැත්නම් දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය අත් විඳ ඇති විට පුද්ගලයකු ඡන්දය දැමීමට පසුබට වේ.තවද දේශපාලකයන්ගේ පුහු ආටෝප කතාවටද 'සුකුරුත්තම්' වැඩ වලටද අප්‍රියක් ඇති වීමෙන් ඡන්දය භාවිතා නොකිරීමට ඉටා ගනියි. තව බොහොමයක් දෙනෙක්ට පාලකයන් හා මෙම දේශපාලනය නම් සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවම විශ්වාසයක් නොමැත.සත්තකින්ම ලංකාවේ දේශපාලනය ගත් කළ පාලකයින්ව විශ්වාස කිරීම නම් කිසිසේත්ම කළ නොහැක්කකි. "කවුරු ආවත් ඔච්චරයි" "ඔය කවුරුත් අපිට කන්න අඳින්න දෙනවැයි" ජනතාව දේශපාලනය පිළිබඳව මෙවැනි අදහස් දැරීම වැරදියැයි කිව නොහැක.
නමුත් එක් ඡන්දයක වටිනාකම අප තේරුම්ගත යුතුය.අපේ බඩට කෑම හොයාගන්නේ අපි බව ඉතාමත් හරිය.නමුත් බඩ ගැන මෙන් අපට රට ගැන සිතිය නොහැක.අපට බඩ ගැන බලාගත හැකිමුත් රටක් නියමාකාරයෙන් බලාගැනීමට නම් පාලකයෙකු පත්කරගැනීම අනිවාර්ය වෙයි.එම පාලකයාගේ හිතු මනාපෙට නොව රටක මහ ජනතාව වශයෙන් අපට අවැසි දේ එම පාලකයා ලවා සිදු කරගැනීමට අපි වග බලාගත යුතුය.දැන් තාක්ෂණයත් සමගම ජනතාවද ඉතා දියුණුය.එබැවින් ජනාධිපතිවරයෙක්ට රටක ජනතාවකගේ අකමැත්තට වැඩ කළ නොහැකිය.මහ ජනතාව වන අපි එක් පාලකයෙක්ට වඩා බලවත් බව අප තේරුම්ගත යුතුය.
සත්තකින්ම කාරණය නම් මෙයය. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් අර්ධ ශතකයට ආසන්න තරම් ගණනක් ඉල්ලුම් කලා වීමට පුලුවන.ඒ අතරිනුත් අපේක්ෂකයින් දෙදෙනෙක් බලවත් වුනා වෙන්නත් පුලුවන.ඒ අපේක්ෂකයින් දෙදෙනාගේම බොහෝ අඩුපාඩු තිබුණා වෙන්නත් පුලුවන.මේ අපේක්ෂකයින් දෙදෙනාටම අඩුපාඩු ඇති බැවින් ඡන්දය නොදී සිටීමට නොව ඒ අතුරින් අඩුපාඩු වඩා අඩු පුද්ගලයා කවුරුන්දැයි තේරුම්ගනිමින් ඡන්දය පළ කිරීමට මහ ජනතාව වශයෙන් අපට දැනුමක් තිබිය යුතුය.මන්දයත් අඩුපාඩු වඩා වැඩි පුද්ගලයා ජනාධිපතිවරයා ලෙස පත්වුව හොත් රටට වෙන වින්නැහිය සිතා ගැනීමටවත් නොහැකිවනු ඇත.
පක්ෂය වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යුතුය.යටගිය පරම්පරාව වෙනුවෙන් නොව ඒමට සිටින පරම්පරාව වෙනුවෙන් අපගේ වටිනා ඡන්දය භාවිතා කළ යුතුය.එය ශ්‍රී ලාංකීය පුරවැසියකු වශයෙන් ඔබේ මගේ වගකීමකි.මම වෙනුවෙන් නොව අපි වෙනුවෙන් "මම ඡන්දය දමන්නෙමි " යි යන තැනට අප අදහස් වෙනස් කර ගත යුතුය.
-ක්‍රිෂෙල් වර්ණකුලසූරිය-

No comments:
Post a Comment