ඔබ මම අපි ශ්‍රී ලාංකිකයෝ 🙏

                   
 ඔබ මම අපි ශ්‍රී ලාංකිකයෝ 🙏


      " මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ මං රෝහලේදී දැකපු දේවල්. මං දැක්කා පුද්ගලයින් තුන්දෙනෙක්ව ආයෙම ගන්න බැරිවුණු. හරියටම පළවෙනි රෑ මගෙ එහා පැත්තෙ හිටපු අසරණ වයසක මිනිසා එක අවස්ථාවකදි එක විදියකටම නිසල වුණා. ඔව් තුන් දෙනාම නැතිවුණා මගෙ ඉස්සරහම. නමුත් මං දැක්ක දේ ඒක හරි වේදනාකාරියි. වේදනාවම විතරයි. වෛදයවරු හිටියෙ හුගක් මහන්සියෙන්. මගෙ එහා පැත්ත කාමර වලින් ඇහෙන්නෙ වේදනාවෙන් කෑගහන හඬ. නවත්වන්නෙ නැතිවම රෑ පුරා කහින කැස්ස. ඒක හරිම අමාරුයි"
                       ඉතාලි ජාතික Andrea Napoli වයස තිස් තුනක ශක්තිමත් වෝටර් පෝලෝ ක්‍රීඩකයෙක්. එමෙන්ම නීතිඥයෙක්. මෙය කොරෝනා වෛරසය නිසායෙන් මොහොතකට අඩපණ වුණු ඔහු ඉන් සුව වූ පසු මාධ්‍යට පවසන ලද වචන කිහිපයක්. එහෙත් මෙම වචන කිහිපය තව නොබෝ දිනකින් හුගක් දුරට ඔබේ හෝ මගේ විය හැකියි. මාස කිහිපයක් ගත වූවත් තවමත් ඔබට මෙහි තිබෙන්නාවූ අඳුර දැනී නැති බව ඇත්තය. ඔබේම ආදරණීයයකුට හෝ වේවා ඔබට හෝ වේවා මෙය ළං වන තුරු එය ඔබට නොදැනෙන බවත් ඇත්තය. නමුත් ඇත්තම කාරණය නම් ඔබට දැනුනත් නැතත් ඔබත් මමත් හිතනවාට වඩා යම් ගැඹුරු භයානක බවක් මෙහි ගැබ් වී ඇති බවය.


         වෙනදා වගේම ඉර පෑව්වට ඒ ඉර හරියටම පායන්නෙ නැහැ කියලයි හිතෙන්නෙ. හමන හුළඟටත් බයේ අපි එළියට බහින්නෙ නැති කාලයක් මෙය. ඉස්සර ඔහෙ ඉබාගාතේ යද්දිත් හීන දකින අපිට දැන් හීනයක්වත් දකින්න බැරි තරමට හිත කොටුවෙලා. හැමෝගෙම හිත කොටුවෙලා තියෙන්නෙ එකම තැනකට. Covid - 19 එහෙමත් නැතිනම් කොරෝනා වසංගතය, මෙහි ආරම්භය කොහෙන් වූවත් ආරම්භය අපි දන්නවා වූවත් මෙහි කෙළවර කොහෙන් නතර වේවිද කියන්න වෛද්‍යවරයෙක්ටවත් පුලුවන් කමක් නැහැ. ඔවුන්ව පවා අසරණ කළ රෝගයක් මෙය. ආර්ථිකය අතින් මහ ඉහළින් ඉන්න හිතාගන්න බැරි තරම් සෙලෝලයිඩ් තිරයන් මවපු මිසයිල පිට මිසයිල අත්හදා බලපු උජාරුවට යුද්ධ කරපු ලෝකයේ බලවත් රටවල් හැම එකක්ම පාහේ අද හිස නමා ගනිද්දි පුංචි රටක් වන අපිත් උත්සහ කරන්නෙ කෙසේ හෝ එරෙහිව නැගිටින්නයි.
        "ශ්‍රී ලංකා මාතා පෑ විස්කම් බෝමා"
                        ශ්‍රී ලංකාව මාතාවක් නම් ඇය විස්කම් පෑවෙ තනියම නෙවෙයි. ඇය විස්කම් පෑවෙ ඇය තුළ ජීවත් වුණු මිනිසුන් නිසයි. ලෝකයේ බොහොමයක්  රටවල් වලට කරන්න බැරි වුණු බොහොමයක් දේවල් අපි කරලා තියෙනවා. හරි හමන් තුවක්කුවක් වත් නැතිව සුද්දන්ව පරාජය කරපු මිනිස්සු අපි. ලොකු ලොකු මිනිස්සු හිනාවෙද්දි පරාජය කරන්න බැහැ කියලා මුහුණටම කියද්දි තිස් වසරක ලේ හලපු යුගයක් අවසන් කරපු මිනිස්සු අපි. දෙවියො අදහද්දි කුඩුපට්ටම් වෙලා යන්නම බෝම්බ වැදුනට ඒ බෝම්බ පහර කාගෙන නැගිට්ට මිනිස්සු අපි. හරියටම කියනවනම් 'යක්ඛ' කියන නම ඇහෙද්දි ඇගේ රෝම කෙලින්වෙන මිනිස්සු අපි. අපි ශ්‍රී ලාංකිකයෝ. රට පුංචියි තමයි හැබැයි අපේ හිත් ලොකුයි හරි සංවේදියි.

මේ මොහොතේදි රට මුහුණ දෙමින් ඉන්නෙ ඒ හැම දෙයකටම වඩා ලොකු අභියෝගයකටයි. මක්නිසාද යත් ඒ කිසිම දෙයකට පුලුවන් වෙලා නැහැ මේ තරම් කාලයකට අපිව ගෙදර හිර කරලා තියන්න.ඉස්සර අපි ළඟ තියෙද්දී අපි පහුකරගෙන යද්දි අපි ලස්සනයි කියලා නොදැකපු හුගක් තැන් අද ලස්සනයි කියලා මතකයට එද්දි ඒ තැන් වලට අද යන්නට නොහැකි වෙලා තියෙනවා. එකපාරටම ඇහැක් වහලා ආයෙම අරින තරම් ඉක්මණට මෙයින් ගොඩ එන්න බැරිබව ඇත්ත. නමුත් අපිට පුලුවනිනම් තත්වය යම්තාක් දුරකට පාලනය කරගන්න හරියටම කියනවනම්  මේ වෛරසය පැතිරෙන වේගය අඩාල කරගන්න එහෙමත් නැතිනම් දිනෙන් දින හමුවන රෝගීන් ගණන අඩුකරගන්න, අපිට  පුලුවනි හිත ඇතුළෙ එළියක් දල්වගන්න අපි නැගීසිටින බවට.
        පසුගිය දිනක මරදානේ ඩාලි පාර යාබද අතුරු මාර්ගයක් වූ ආර්නෝල්ඩ් රත්නායක මාවතේ නිවාසයක අවුරුදු හැත්තෑ දෙකක පුද්ගලයකු කොරෝනා නිසා මියගියා. මෙම පුද්ගලයගෙ බෑණා පිටරට වන්දනාවෙ ගිහින් ඉකුත් දිනක ලංකාවට පැමිණි අයෙක්. රජය විසින් අනුගමනය කිරීමට ලබාදුන් එකදු නීතියකට මොවුන් අවනත වෙලා තිබුණෙ නැහැ. වන්දනාවේ සිට පැමිණි පුද්ගලයා ලියාපදිංචි වෙලා නිරෝධායනට යොමු වූවා නම් මෙම තත්වය මීට වඩා හුගක් හොඳ විදියකට වෙනස් වෙන්න තිබුණා. මේ වගේ තත්වයන් නිසා මුලු පෙදෙසක්ම අද අනතුරකට වැටිලා තියෙනවා. මෙවැනි තත්වයන් වළක්වා ගැන්මට අපට යම් දෙයක් කරන්න පුලුවනිනම් එය වටිනා කාර්යයක්.
     හැම දෙයකදිම වගේ මෙතනදිත් අපි රටක් විදියට එකට එකතු විය යුතුයි. නමුත් එක තැනකදි නොවෙයි එක හිතකිනුයි. පුංචි ගම් දනව් වල ඉඳන් ලොකු නගරයක් වෙනකම්ම හැම පුද්ගලයකුම රජයෙන්  ඉදිරිපත් කරලා තියෙන නීති රීති වලට යටත් වෙලා ඒ දේවල් ඒ විදියටම පිළිපදිනවනම් සත්තකින්ම අපිට මෙම තත්වය පාලනය කරගන්න එක හඳ අල්ලනවා වගේ දෙයක් නොවෙයි. මෙතනදි යොදාගන්න පුලුවන් දෙපියවර සංකල්පය. විස්තර ඇතුව කියනවනම් රටක් විදියට ජන මාධ්‍ය වලින්  කියා නිමකරන්න බැරි සේවයක් කරන මේ මොහොතේ ගමක් එහෙමත් නැතිනම් නගරයක් විදියට වග කිව යුත්තන් සහ දැන මුත්තන් එකතු වෙලා සරල සන්නිවේදන ක්‍රම යොදාගනිමින් ජන මාධ්‍ය වලින් දෙන සංදේශය සංවේදීව ගම් වැසියන්ට නැතිනම් නගර වැසියන්ට බෙදාහැරීම තුළින් තවදුරටත් අපේම මිනිසුන්ව දැනුවත් කරන්න පුලුවන් කමක් තියෙනවා.

කුලියාපිටිය අපිත් එහෙමයි. සත්තකින්ම කුලියාපිටිය කියන්නෙ පුංචි නගර සීමාවක්. ඉන් ඔබ්බට කුලියාපිටිය තම නගරය කරගත්ත පුංචි මිනිස්සු ඉන්න පුංචි ගම්මාන බොහෝමයක් තියෙනවා. ඒ කාරණය නිසායෙන් සන්නිවේදන කාර්යයක් දියත් කරද්දි ඇති නැති භේදය ගැනත් මොහොතකට සිතන්න වෙනවා. තවත් කියනවනම් නීතිමය කාර්යන්ට යටත් වෙලා ලැබී ඇති සීමිත ඉඩකඩකදි තමයි මේ කාර්‍යයන් කරන්නට වෙන්නෙ. නගර සීමාවෙ ජීවත්වෙන ජනතාවට " Mankiwwa " නම් යෙදුම ජංගම දුරකථන වලට ස්ථාපනය කරගැනීම මගින්
නගර සීමාව ඇතුළත යම් කිසි පුද්ගලයකුට එම රෝගය වැළඳුණු බවට සැකනම් හෝ රෝගය වැළදී ඇති බවට සැක ඇති පුද්ගලයන් පිළිබඳව හෝ රට සිට පැමිණ නිරෝධායනය නොවුණු පුද්ගලයින් පිළිබඳව හෝ වේවා අදල වගකිවයුතු පාර්ෂවයට දැනුම් දීමට පුලුවන්කමක් තියෙනවා. එහෙත් මේ වගේ දේවල් ගම් ඇතුලට නම් ඒ තරම් ගැලපෙන දෙයක් නෙවෙයි. ඒ හේතුව පෙරදැඩි කරගෙන පොලීසියේ අනුමැතිය ඇතුව ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ගම් ඇතුලටම ගිහින් ඒ ජනතාව දැනුවත් කිරීමට දැනමුත්තන් කටයුතු කරනවා. අපේ පන්සලේ හාමුදුරුවෝ පුරා හෝරා ගණනාවක් තිස්සේ මුලු ගමටම ඇහෙන්න රතන සූත්‍රය විකාශනය කරනවා. රතන සූත්‍රය මැද්දෙන් මේ වසංගතය ගැනත් විටෙන් විට මතක් කරනවා.ඇත්තටම මිනිසුන්ගේ විශ්වාසයන් මැද්දෙ වූවත් එයින් පවා සිදුවන්නෙ යම් සේවාවක්ම විතරයි. මේ වගේ නොයෙක් විදියට අපේම මිනිසුන්ව තව තවත් දැනුවත් කරන්න පුලුවන් කමක් තියෙනවා. ඒ විතරක්ම නෙවෙයි රජයෙන් පනවන ලද නීති රීති වලට අවනත වෙන්න මිනිසුන්ව පොළඹවන්න මෙම දේවල් යොදාගන්න පුලුවන්. මෙම රෝගය ව්‍යාප්ත වීමේ වේගය අඩාල කිරීම වගේම ඊට අමතරව ගමකින් හෝ නගරයකින් බිහිවිය හැකි රෝගීන් ගණන අඩුකිරීමට මෙය යහපත් ලෙස බලපානවා.




මේ කරදර අස්සෙ බඩකින්න හොඳ හැටි දැනුනු හිතේ හයියෙන් ජීවත් වෙන එදා වේල හොයාගෙන කන මිනිස්සු ඕනාතරම් ඉන්නවා. තම දරුවන්ගෙ කඳුලු ඉස්සරහ අසරණ වෙලා ඉන්න තාත්තලා ඉසේ කෙස් ගානට හොයාගන්න පුලුවන්. තවත් කියනවනම් දරුවො අතඇරලා දාපු අඩියක් ඉස්සරහට තියාගන්න පණ නැති ඒත් කරකියා ගන්න දෙයක් නැති කමට අතේ තියෙන සොච්චම මිට මොලෝගෙන පෝලිම් ගානෙ හිටගෙන ඉන්න අත්තම්මලා අත්තලා ඇති. දුක කාටවත් කියාගන්න විදියක් නැතිව හිතේ ඒ දුක හිර කරගෙන ඉන්න හාල් මිටියක් රත්තරන් වටින මිනිස්සු ඕනාතරම් ඇති.අපි ශ්‍රී ලාංකිකයෝ හරි සොඳුරු ජාතියක්. සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද නෙවෙයි මේ කවුරු වුනත් අපි එක ජාතියක්. තව කෙනෙක් බලාගෙන ඉද්දි අපි තනියම කන්නෙ නැහැ කවදාවත්. විශේෂයෙන්ම අසරණයෙක්. අපේ පුංචි නගරයෙ වගේම මං දන්න හැටියට හැම ගමකම හැම නගරයකම ඇති හැකි අය එකතුවෙලා නැති බැරි අයට බඩු මල්ලක් බෙදාදෙන එක හරි වටින කාර්යයක්. අගය කරන ගමන්ම යමක් එකතු කරනවනම් මේ බඩු මල්ල බෙදාහරින්න ආරම්භ කරන තැන ගමේ පුංචිම ගෙදරනම් එය දෙසැරයක් අගය කළ යුතු කාර්‍යයක්

         ආයෙම කියනවනම් අපි ශ්‍රී ලාංකිකයෝ. අපේ ලේ හරි ගනකමයි. හිත් හරි හයියයි. කිසිම දවසක පහුබහින මිනිස්සු නෙවෙයි අපි. වැටිලා නැතිව නොවෙයි. එහෙත් වැදගත්ම දේ අපි ආයෙම නැගිට්ටා එක රටක් හැටියට. දරාගන්න බැරි තරම් දුක අපි දරාගත්තා. දැන් දවස ගානෙ එකින් එක්කෙනා නැතිවෙන්න දැනටමත් පටන් අරගෙන. ආයෙම යතා තත්වයට එන්න අපිට මේ සැරේ කරන්න තියෙන්නෙ හරිම සරල දේවල් කිහිපයක් පමණයි. නමුත් සරලයි කියන තරමට සරලමත් නැතිව ඇති මේ දේවල්. අපි ගෙදර ඉමු. මං දන්නවා මිත්‍රත්වය වැඩියි කියලා ඒත් ඇඳිරිනීතිය අයින් කරපු ගමන් ගිහින් තව කෙනෙක්ව බදාගන්නෙ නැතිව ඉමු. අමාරුයි තමයි ඒත් මීටරයක්වත් ඈත්වෙලා පෝලිමට ඉදලා අවශ්‍ය දේවල් ගමු. අපේ ඉස්සරහ ඉන්නෙ අපිට වඩා අසරණ කෙනෙක් නම් ඒ කෙනාට මුල් තැන දෙමු. එක වේලක් හරි නොකා ඉදලා වේල් දෙකක් නොකා හිටපු කෙනෙක්ගෙ කුස පුරවමු. ගමක් නගරයක් විදියට අපි අලුත් ආසාදිතයන්ව බිහි නොකර ඉඳිමු. නීතියට ගරු කරමු. සමාජ දුරස්ථභාවය අගය කරමු. අපි වෙනුවෙන් මහන්සි වෙන සෞඛ්‍ය අංශයේ වගේම ආරක්ෂක අංශයේ හැම කෙනෙක්ටම ඉක්මණට ගෙදර එන්න අවස්‍ථාවක් ලබා දෙමු. අපි හිනාවෙමු අඳුර අස්සෙන් හරි. ආදරණීයන් වෙනුවෙන් ' අම්මටයි තාත්තටයි කොරෝනා හැදුනොත් මාත් ගිහින් එයාලව බදගන්නවා'  කියන මානසිකත්වය වෙනුවට ' මගෙ අම්ම තාත්තා ළගට කොරෝනා කියන දෙයට මං එන්න තියා බලන්නවත් ඉඩ තියන්නෙ නැහැ' කියන තැනට මානසිකත්වය හදාගමු. අපි ආසම කරන ලස්සන තැන් වලට ආයෙමත් ගිහින් නිදහසේ හුස්මක් කටක් ගන්නට අපිට පුරුදු ඉර ආයෙමත් අපි පායවමු. ලස්සන ශ්‍රී ලංකාවක් දකින්නට හදවතින් අපි පෙළගැසෙමු. එක්ව කොරෝනා පරදවමු.

ක්‍රිෂෙල් වර්ණකුලසූරිය ❤️

No comments:

Post a Comment